නින්ද යන්නේ නැද්ද ? [ නින්දේ අක්‍රමතා Sleeping Disorders ]

  නින්දේ අක්‍රමතා Sleeping Disorders

විශේෂඥ පර්යේෂණ වාර්තා අනුව වැඩිහිටි ප්‍රජාවගෙන් 70% ක ප්‍රමාණයක් සහ ළමුන්ගෙන් 25 -30% ත් අතර ප්‍රමාණයක් නින්දේ ආබාධවලින් පීඩාවිදින බව පෙන්වා දෙයි. එනම් සමාජයේ වැඩි පුද්ගල ප්‍රතිශතයක් නින්ද ආශ්‍රිත ආබාධයන්ගෙන් පෙළෙන අතර ඒ පිළිබඳ සවිඥානික නොවෙන බවක් පෙනේ. හොඳයි අපි කතා කරමු නින්දේ ආබාධ ගැන,

ඊට පෙර නින්ද යනු සවිඥානික ක්‍රියාකාරිත්වය අඩු වූ හෝ නැති වූ ස්වාභාවික තත්ත්වයක් බව අවබෝධ කරගත යුතුය. එය කායික හා මානසික සහනය සඳහා හේතු වන අතර කායික හා මානසිකමය වශයෙන් පවතින පීඩාකාරී තත්ත්වයන්ට සහනදායි ම ප්‍රතිකාර ද වන බව ඔබ දන්නවා ඇති. මිනිසුන් තම ජීවන කාලය තුළ 1/3 ක කාලයක් ගත කරන්නේ ද නින්ද වෙනුවෙනි. නින්ද නොමැති වුවහොත් ප්‍රතිශක්තීකරණය හා අවධානය අඩු වී නින්ද සම්බන්ධ විවිධ ආබාධමය තත්ත්වයන්ට ගෙදුරු වෙයි.

නින්ද සම්බන්ධ අක්‍රමතාවයක් යනු නිදාගැනීම සම්භන්ධයෙන් යම් අපහසුතාවක් පැවතීම හා ඒ නිසා දෛනික ජීවන කටයුතුවලට බලපෑමක් ඇතිකිරීමට හේතුවන රෝගීමය තත්ත්වයන් වෙයි.

නින්ද සම්බන්ධ අක්‍රමතා රාශියක් පවතිනවා 

1. Insomnia  ඉන්සොමිනියා

2. Narcolepsy නිද්‍රලුව

3. Apnea  ඇප්නියා

4. Hyper somnolence disorder අධි නිදිමත මේ ඉන් කිහිපයක් පමණි .

මෙම ලිපියෙන් #Insomnia අක්‍රමතාවය පිළිබඳ සාකච්ඡා කරමු.

මොකක් ද මේ ඉන්සොමිනියා ?

මෙය නින්ද සම්බන්ධ ප්‍රධානම ආබාධයක් ලෙස සලකයි.මෙහිදී නින්ද යාමේ අපහසුතාවක් හා නින්ද පවත්වා ගැනීමේ අපහසුතාවක් ඇත.

මෙහි ආකාර දෙකකි.ප්‍රාථමික ඉන්සොමිනියා හා ද්වීතියික ඉන්සොමිනියා වේ.  ප්‍රාථමික ඉන්සොමිනියා යනු වෙනත් රෝගීමය තත්ත්වයක් සමඟ බැඳී නැති නින්දට පත් වීමේ හා නින්ද පවත්වා ගැනීමට නොහැකි වීමේ ආබාධයයි. ද්විතීය ඉන්සොමිනියා යනු වෙනත් රෝගීමය තත්ත්වයක් හෝ මත්ද්‍රව්‍ය ඇල්කොහොල් භාවිතය මත අතිවන නිදාගැනීමෙහි අක්‍රමතාවයයි. ඒ අනුව නිදාගැනීමේ සහ නින්දට පත්වීමේ යම් ආබාධයක් සහිත කෙනෙක් පළමුව තමා මෙහි කුමන ආකාරයට අයත් ද යන්න පළමුව සැලකිලිමත් වෙන්න⁣.

මොනව ද ඉන්සොමිනියා රෝග ලක්ෂණ ?

1. දවස පුරා කිසි ⁣මෙහොතක නින්ද නොයාම

2. නමුත් දවස පුරා නිදිමත ගතියක් දැනීම

3. නින්දට වැටීම දුෂ්කර වීම

4. නින්දට වැටුනද නින්ද පවත්වා ගෙන යම දුෂ්කර වීම

5. අධික වෙහෙසක් පැවතීම

6. කලබලකාරී නොසන්සුන්ගතිය

7. මතකය දුර්වල වීම ඇතුළු ප්‍රජානන හැකියා දුර්වල වීම

8. ආවෙගශීලී වීම

ඉන්සොමිනියා වැළඳිමට හේතුවන කාරණා මොනවද ?

දෛනික ජීවිතයේ ක්ලමථකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවීම.විභාග අසමත් වීම, දික්කසාදය, ප්‍රේම සබඳතා බිඳ වැටීම, සමීපතමයෙකුගේ මරණය, ස්ථාන මාරැවීම් වැනි ජීවන සිදුවීම් හේතුවෙයි.

විවිධ රෝගීමය තත්ත්වයන් සහ රෝගී තත්ත්වයන්ට ලබා ගන්නා ඖෂධ තත්ත්වයන් මත ඇතිවිය හැකිය. නිදසුන් විෂාදයට ඖෂධ ගැනීම.

පාරසරික සාධකයන් හේතුවෙයි.අධක ශබ්ද ඝෝෂා සහිත පරිසරයන්හි ජීවත් වීම,අධි ආලෝක ධාරාවන්ට නිරාවරණය වීම

අධික ක්ලමථය සමඟ රාත්‍රී වැඩමුර සේවාවන්හි යෙදෙන පුද්ගලයන් ගොදුරු වෙයි.

වැදගත් ම කරුණ වන්නේ ඉන්සොමිනියා අක්‍රමතාවය සහිත බව හඳුනා ගන්නේ කෙසේ ද යන්නය. ඒ අනුව අවම වශයෙන් සතියකට 03 වතාවක් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් මෙම තත්ත්වය අත්දකින්නේ නම එම තත්ත්වය ඉන්සොමිනියා වෙයි. නමුත් පුද්ගලයා එදිනෙදා තරඟකාරී සහ අභියෝගාත්මක ජීවන අවස්ථාවන්ට මුහුණ දීම නිසා කෙට්කාලීන වශයෙන් ඉන්සොමිනියා තත්ත්වය ඇතිවිය හැකිය. සමීපතමයෙකුගේ හිදිසි මරණයක්, Time Zone වෙනස්වීමක්, ස්ථාන මාරුවක් හේතු විය හැකි වුනත් මේවා කෙටිකාලීන වෙයි. එය ක්‍රමයෙන් මගහැරී නින්ද ක්‍රමවත් බවට පත්වෙයි.

ඉන්සොමිනියා වළක්වා ගැනීමට කළ යුතු කුමක් ද ?

1. නින්දට යාමට ⁣හා අවධි වීමට වෙලාවක් නිසැකවම තබා ගැනීම කළ යුතුය. දවහල් කාලයේ නිදා ගැනීමට උත්සාහ නොකොට එක් වේලාවක් අන් සියලු වැඩවලින් මිදී වෙන්කරවා ගන්න.

2. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ කැෆේන්, නිකොටින් අඩංගු දෑ මෙන් ම මත්පැන් භාවිතයෙන් ද ඈත්විය යුතු බවය.

3. නිදා ගැනීමට පැය 2කට පමණ පෙර ව්‍යායාමවල නිරත වීම white music, ඇහුන්කම් දීම.

4.නිදන කාමරය සුවපහසු තැනක් බවට පත්කර ගැනීම අනවශ්‍ය දෑ වහාම ඉවත් කළ යුතුය.

මෙවැනි අභ්‍යාස මඟින් මෙම තත්ත්වයෙන් සහනයක් ලබාගත හැකිවන අතර තත්ත්වය බරපතළ අවස්ථාවක මනෝවෛද්‍ය වරයෙක් හෝ මනෝ ප්‍රතිකාරවේදියෙකුගේ සහයෝගය ලබා ගැනීම ඉතාම සුදුසු වෙයි. නින්ද සම්බන්ධ අක්‍රමතා තවත් රාශියක් පවතින අතර ඔබත් මමත් එදිනෙදා ජීවිතය තුළ කුමන හෝ අවස්ථාවක නින්ද සම්බන්ධ අක්‍රමතාවයකින් පෙළී ඇත. එය කෙටිකාලීන වශයෙන් ඇති වුවහොත් ගැටලුවක් නොවන අතර දිර්ඝ කාලීනව මුහුණ දීම තුළ විශාල වේදනාවකට හා අපහසුතාවකට ලක්වෙයි.

කුකුළු නින්ද හෙවත් කෙටි නින්ද පිළිබඳ  ලිපියකින් නැවත හමුවෙමු. 


https://psychologytipsforyou.blogspot.com/2020/11/sleeping-disorders-.html




Comments