පිරිසක් මැද කටයුතු කිරීමේ අපහසුතාවක් තිබේද ? [සමාජ කාංසාව Socialanxiety]

 සුළු මානසික ආබාධ 01

සමාජ කාංසාව Socialanxiety 

⁣සමාජ කාංසාව යනු කාංසා අක්‍රමතාවයන්ගේ එක් ප්‍රභේදයක් පමණි.

කාංසවෙහි ප්‍රභේද කිහිපයක් පවතියි. ඒ පිළිබඳ පසුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර මෙහිදී වැඩි දෙනෙකුගේ අවධානය යොමු වන සමාජ කාංසාවෙහි ස්වභාවය හා ප්‍රතිකාරාත්මක ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කරමු.

සමාජ කාංසාව හා සමාජ භීතිකාව යනු දෙකක් නොව එකකි. එනම් DSM 04 හි සමාජ භීතිකාව ලෙසත් DSM 05 සංස්කරණයෙහි සමාජ කාංසාව ලෙසත් හඳුන්වයි. ( Diagnosis and Statistical Manual Of Mental Disorders )

මොකක්ද මේ සමාජ භිතීකාව ?

යම් පුද්ගලයෙක් පිරිසක් මැද කටයුතු කිරීමේ අපහසුතාවක් අත්විඳීම වෙයි. මෙම තත්ත්වය යොවුන් වයසේ දී ඉස්මතු වී තරුණ විය අවසානය පමණ වන තෙක් පවතියි. පිරිසක් මැද සිටියදී ඔවුන් තමාව නිරීක්ෂණය කරන්නේය, තමාගේ නොහැකියාවන් දකින්නේය, මා පිළිබඳ සෘනාත්මක ලෙස සිතන්නේය යන්න බිය අත්දැකීම සමාජ භීතිකාව වෙයි. පුරුෂ පාර්ශවය මෙන් ම කාන්තා පාර්ශවය ද ගොදුරු වෙයි.

සමාජ භීතිකාව ඇතිවන අවස්ථා

1. පිරිසක් රැස්වන ස්ථානයකට යාමට

2. පිරිසක් මැද ආහාර ගැනීමට සිදුවන අවස්ථා

3. පිරිසක් ඉදිරිපිට යමක් ලිවීමට කියවීමට නොහැක

4. දුරකථන ඇමතුම් ලබා ගැනීමට බියය

5. යම් පාර්ශවයකින් තමාට අසාධාරණයක් වූවේ යැයි සිතන කිසිවිටකත් ඉදිරිපත් ව කතා කිරීමට පෙළඹෙන්නේ නැත. Etc : කල් ඉකුත් වී ඇති භාණ්ඩයක් මිලට ගෙන එය නැවත මාරු කර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත.

එහෙයින් මෙම ලක්ෂණ නිසාම මොවුන් මෙවැනි අවස්ථා මඟහරියි. එම නිසා සමාජය සමඟ කටයුතු කිරීමට යාමේදි විශාල භීතිකාවට පත්වෙයි. හැකි⁣ සෑම විටම හුදකලාව තෝරාගනියි.

මෙම සමාජ භීතිකාව සහිත පුද්ගලයන් තමාට බෙහෙවින් හුරු පුරුදු අය සමඟ කටයුතු කිරිමේදී එවැනි තතත්වයන් අත්නොවිදින අතර හුරුපුරුදු නොමැති, මින්පෙර හමු වී නැති පුද්ගලයන් සමඟ සංවාදයක යෙදීමට පවා බියවෙති. මොවුන් ප්‍රේම සම්භන්ධතා ආරම්භ කිරීමට මෙන් ම පවත්වාගෙන යාමට බෙහෙවින් අසමත් වෙති. මෙවැනි ලක්ෂණ මත මානසික පීඩනය ( Stress ) අත්විඳියි. සෑම විටම තමාව කවුරුන් හෝ නිරීක්ෂණය කරන බව සිතයි. එම නිසාම චර්යාව සංස්කරණය කරගැනීමට යාම නිසා මානසික පීඩනයට ගොදුරු වෙයි.

මෙහිදී දැකිය හැකි කායික රෝග ලක්ෂණ 

1. හුස්ම ගැනීමේ අපහසුතා

2. සිතුවිලි ගලපා ගැනීමට අපහසුතා 

3. කට වෙව්ලීම 

4. හෘද ස්පන්දනය වේගවත් වීම

5. බඩේ අජීර්ණ 

6. ශරීරයේ යම් යම් අවයවවල පණ නැති ස්වභාවයක් දැනීම. අදාළ සමාජ අවස්ථාවට මුහුණ දීමට සිදුවනවා යැයි හැගීමත් සමගම මේ තත්ත්වය ඇතිවෙයි.

7. මුත්‍රා ආබාධ 

සමාජ කාංසාව සහ ලැජ්ජාව පටලවා නොගන්න. ලැජ්ජාව කෙටි කාලීනය. එය තම කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නොවෙයි. නමුත් එසේ නොව සමාජ කාංසාව දිගුකාලීනව පවතින අතර එය පුද්ගල හැකියාවන් පවා දුර්වල කිරීමට හේතුවෙයි. යම් සමාජ අවස්ථාවකට මුහුණ දීමට දින ගණනාවක පෙර සිට ඒ පිළිබඳ සිතමින් පීඩනයට පත්වෙයි

සාමාජ කාංසාව සහිත පුද්ගලයා,

1. ප්‍රසිද්ධියේ ප්‍රශ්නයක් ඇසූවිට එයට පිළිතුරු දීමට අපහසුතාවක් අත්විඳියි.

2. සාප්පු යාම, ප්‍රසිද්ධ ස්ථානවලට යාම මඟහරියි.

3. පොදු විවේකාගාර භාවිතා කරන්නේ නැත.

සමාජ කාංසාවට ගොදුරු වන්නේ ඇයි ?

ජානමය සාධක හේතු විය හැකිය, සෘණාත්මක අදහස්, ආත්ම අභිමානය පහළ වීම හේතුවෙයි.දරුවන් හැදීවැඩෙන පරිසරය හේතුවෙයි. පාරසරික සාධක අනුව

ලිංගික අපයෝජන

විවිධ හිරිහැර 

පවුල් ආරවුල් හේතුවෙයි

මෙවැනි හේතුන් මත මොළයේ රසායන සංයුතීන්හි අසමතුලිතාවයන් මත මනෝභාවයන්ගේ වෙනස්කම් ඇතී වී කාංසාමය සිතුවිලි ඇතිවීම හා පාලනය කරගැනීමට නොහැකි වීම  කාංසාාමය තත්ත්වයන්ට හේතු⁣වෙයි.

සමාජ කාංසාවෙහි සෘණාත්මක බලපෑම වන්නේ අතිශයින් දැවැන්ත ලෙස මානසික පීඩනයට ගොදුරු වීම මත විශාදමය තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක්  තිබීමයි. එ වගේ ම මේ අධික පීඩාකාරි සිතුවිලිවලින් මිදීමට මත්පැන් සඳහා ගොදුරු වීම හෝ වෙනත් අහිතකර චර්යාමය, මානසික  ඇබ්බැහිවීම් සඳහා ගොදුරු විය හැකිය. සමාජ සම්භන්ධතාවලින් සම්පූර්ණයෙන් ඈත්විය හැකිය. ඒ නිසා මෙය යහපත් තත්ත්වයක් නෙවෙයි.අත්‍යාවශ්‍යයෙන් ම ප්‍රතිකාර ගත යුතුය.

සමාජ කාංසාව සඳහා ප්‍රතිකාර තිබේ ද ?

ඔව්. කාංසාමය තත්ත්වයන් අයත් වන්නේ සුළු මානසික ⁣රෝග ගණයට. මේ නිසා ඖෂධමය ප්‍රතිකාර අවශ්‍ය නැත. මනෝඋපදේශකවරයා පුද්ගල ආකල්ප සහ සිතුම් පැතුම වෙනස් කිරීම මගින් සුවපත්භාවයට පත්කරයි. රෝගියා සමඟ සාකච්ඡා කරමින් ඔහුට සුදුසු ප්‍රතිකාරාත්මක සැලස්මක් සකස් කරනු ලබයි. ඒ සඳහා පහත ප්‍රවේශයන් බහුලව භාවිතා කරයි.

1. Cognitive behavior therapy 

2. Exposure therpy 

3. Group therpy 

ඒ අනුව උපදේශකවරයා ක්‍රමයෙන් පුද්ගලයාට අපහසුව ගෙන එන සිතුවිලි ආකල්ප වෙනස්කොට සමාජ අවස්ථාවන්ට මුහුණ දීමට ඉහ ළ ආත්ම අභිමානයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙයි


https://psychologytipsforyou.blogspot.com/2020/11/socialanxiety.html




Comments