හේතුවක් නොමැතිව අධික සතුටට පත්වෙනවාද ? [ ප්‍රධාන මානසික රෝග හඳුනා ගනිමු iii -උන්මාදය /මේනියා (Mania) ]

  ප්‍රධාන මානසික රෝග හඳුනා ගනිමු 03


උන්මාදය /මේනියා (Mania)

මෙම රෝගී තත්ත්වය අප මීට පෙර ලිපියෙහි සාකච්ඡා කළ විශාද රෝගයේ ප්‍රතිවිරුද්ධ රෝග ලක්ෂණ පෙන්වයි. එනම් විශාද රෝගිය අධික කණස්සල්ල හා දුකට පත්වන අතර උන්මාදය රෝගියා හේතුවක් නොමැතිව අධික සතුටට පත්වෙයි. මෙය සාමාන්‍ය මනෝ භාවයක් නොව පැහැදිලිවම අසාමාන්‍ය ස්වභාවයකි. මෙම රෝගීන් සමාජය තුළ එතරම්ම සුලභ නොවුනත් නැත්තේ ද නොවෙයි. බොහා් විට හඳුනා ගැනීමේ අපහසුතාවය නිසාම මනෝ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් වෙත වාර්තා වන ප්‍රමාණය අඩුය.

උන්මාදය රෝගියාගේ රෝග ලක්ෂණ මොනවද ?

1.අධික සතුට පත්වීම 

2. අතිශයින් සුභවාදී සිතුවිලි ඇතිවෙයි

3. ආත්ම අභිමානය ඉතා ඉහළය

4. අධික විශ්වාස පද්ධතියක් ඇත

මෙම ලක්ෂණ අසාමාන්‍ය අධි තක්සේරුවක් හැටියට හඳුනාගත හැකිය.මේ රෝග ලක්ෂණ අනුව

1. තම බලය මහන්තත්වය

2. තම හැකියාව පිළිබඳ මහන්තත්වය

3. තම පරම්පරාව පිළිබඳ මහන්තත්වය

4. නිතර තම හැකියාවන් ශක්තීන් ගැන කියවීම,ගුණ වැයීම

5. තමා වීරයා යැයි සිතමින් ඕනැම අවස්ථාවක් සඳහා තැන නොතැන නොබලා මැදිහත් වීම

මෙම ලක්ෂණ මොවුන් තුළ පැවතියත් මොවුන් ක්‍රියාවෙන් අසාර්ථක වෙයි. තමාට ⁣ඕනෑම දෙයක් කිරීමට හැකිය, ඕනම අයෙක් පාලනය කළ හැකිය, සටන් කිරීමට බලයක් ඇත, යන මාන්න සිතුවිලිවල සිට ඒවා ක්‍රියාත්මක කිරීමට යයි. එලෙස ක්‍රියාකිරීමට ගොස් විශාල අපහසුතාවයන්ට ගොදුරු වෙයි.

මොවුන් සතුව ඇති සිතුවිලිවල අධි විකෘතිතාව හෙයින් සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් මෙම මානසිකමය රෝගී තත්ත්වය හඳුනාගත නොහැකිය. උපදේශන අත්දැකීම්වලට අනුව මොවුන් කරන  ප්‍රකාශවලට නිදසුන් ලෙස

" මට වැස්ස නවත්වන්න පුලුවන් "

"මට පෙර භවය කියවිය හැකිය"

" සාස්තර කීමට පුඵුවන් "

"කතරගම දෙවියන් මට බලයක් දී තිබෙනවා"

" නොපෙනෙන බලවේගයක් මට උපදෙස් දෙනවා "

වැනි යම් යම් විකෘතී ප්‍රකාශ සිදු කරයි

මෙම රෝගයේ තවත් පැතිකඩ වන්නේ තමාට ඉතා විශාල ධනයක්,දේපලක් ,යාන වාහන තිබෙන බවට ලොවට ඇඟවීමට උත්සහ කිරීමයි. රෝගීන්ගේ ප්‍රජානන සිතුවිලි අවධි කොට බැලූපසු පෙනී යන්නේ එැවැනි මානසිකමය ⁣වපසරියක් සිතින් නිර්මාණය කරගෙන මොවුන් එහි ජීවත් වන බවයි. මෙය අසාමාන්‍ය තත්ත්වයකි.

උන්මාදය  රෝගියෙක් හඳුනාගන්නේ කෙසේ ද?

1. මොවුන් අඩු නින්දක් ලබයි.එයට හේතුව නිරන්තරයෙන් අධි ක්‍රියාකාරිත්වයක් පැවතීමයි.

2. වේගයෙන් කතා කරයි. යමක් කතා කොට අවසන් කිරීමටත් මත්තෙන් තවත් දෙයක්ගැන කතා කරයි. මෙය සිතුවිලි පියාසර කිරීමක් ලෙස හඳුන්වයි.

3. නොනවත්වා කතා කරයි. දෙවන හෝ තෙවන පාර්ශවයන් කතා කරන දෙයට අවධානයක් නොදෙයි.

4. නුරුස්නා ස්වභාවයක් ඇත. එයට හේතුව තමා පවසන දෙය අන් අය නොසලකා හැරීමයි.

5. ලිංගිකත්වය පිළිබඳ දැඩි ඇල්මක් ඇත.මොළයේ අධික්‍රියාකාරී ස්වභාවය එයට හේතුවෙයි. පිරිමි පාර්ශවය මෙන්ම කාන්තා පාර්ශවය ද දැඩි අපහසුතාවන්ට මෙන්ම සමාජ විරෝධිව හැසිරීම නිසා හිරිවලට ලක්වෙයි. කාන්තාවන් නන්නාඳුනන පිරිස් මඟින් ගැබ් ගැනීම්වලට පවා ලක්වීමේ සිද්ධි ඇත.

මේනියා රොගීන්ට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේ ද ?

මෙම රෝගීන් කිසිසේත් ම ⁣මොවුන්ට රෝගයක් පවතින බව විශ්වාස නොකරයි. එහෙයින් උපායශීලී ක්‍රමයක් හරහා ඖෂධ ප්‍රතිකාරවලට යොමු කල යුතුය. මනෝඋපදේශකවරයෙක් වෙත යොමු වූ පසු ඔහු මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකරයි. 

මෙම රෝගී ලක්ෂණ අනුව බොහෝවිට මොවුන් සමාජයේ විහිලුට භාජනය වෙයි. නමුත් එය කිසිසේත් ම සිදුනොවිය යුතු තත්ත්වයකි.ඔබගේ සමීපමයෙක් එම තත්ත්වයට ගොදුරු වුව හොත් ඔබ කොපමණ වේදනාවකට පත් වේ ද ? සමාජ විහිලුට පත්වීමේ දී ⁣නොරුස්සන ස්වභාවයක් ඇති වී ප්‍රචන්ඩකාරී ලෙස මොවුන් හැසිරෙයි.

උන්මාදය සහිත රොගීන්ට විශාදය රෝගි ලක්ෂණ ද මාරුවට ඇතිවිය හැකිය.එවිට යම් වේලාවක් සිනහසෙමින් අධික සතුටට පත්වන අතර ලඟ ලඟ මොහොතක අධික දුකට වේදනාවට පත්⁣වෙයි. මෙය ද්විධැව මනෝ අක්‍රමතාවය ලෙස හැඳින්වෙයි. එම මානසික අක්‍රමතාවය පිළිබඳ ඉදිරි ලිපියකින් හමුවෙමු. 


https://psychologytipsforyou.blogspot.com/2020/11/unmadaya.html

Image may contain: one or more people and text

Comments