පුද්ගලයන්ගෙන් වෙන්වීමට නොහැකි වීමේ අපහසුතාවක් තිබේද? [වෙන්වීමේ කාංසා අක්‍රමතාවය (separation anxiety disorder )]

සුළු මානසික ආබාධ 02

වෙන්වීමේ කාංසා අක්‍රමතාවය (separation anxiety disorder )

මෙම අක්‍රමතාවයේ ස්වභාවය වන්නේ පුද්ගලයාට දැඩි චිත්තවේගීය සම්භන්ධතාවයක් සහිත පුද්ගලයන්ගෙන් වෙන්වීමට නොහැකි වීමේ අපහසුතාවක් අත්විඳීම හා ඔවුන්ට කිසියම් අයහපත් දෙයක් සිදු වේ යැයි නිතර බියට පත්වීමයි. බහුල වශයෙන් කුඩා දරුවන්ට හා නව යෞවන වයසේ පසුවන දරුවන්ට මෙම කාංසාමය ස්වභාවය වැළදෙයි. වැඩිහිටියන් තුළ ද දැකිය හැකිය.

 ⁣

 වෙන්වීමේ කාංසා අක්‍රමතාවය පවතින විට,

1. නිරන්තරයෙන් දෙමාපියන් අතේ එල්ලී සිටීම

2. ⁣වෙන්වීමට සූදානම් වන විට අතිශයින් හැඬීම

3. අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැතිවීමට අපොහොසත් වීම

4. වෙන් වීමට සූදානම් වන විට කෝපාවිශ්ඨ වීම

5. රාත්‍රියේ නපුරු සිහින දැකීම 

6. නින්දෙන් ඇඳ තෙමීම

7. දෛනික කාර්යයන් අතපසු විම

8. තනියෙන් නිදාගැනීම ප්‍රතික්ෂේප කිරීම

9. තම සමීපතමයන් කවුරුන් හෝ පැහැර ගනීය යන සිතුවිලි ඇති වීම

10. තනිව නි⁣වසේ රැඳීම හෝ තනිව නිවසින් පිටත් වීම එකහෙලා ප්‍රතිෂේප කිරීම

11. දෙමාපියන් වෙන් වීමට සූදානම් වන විට විවිධ කායික අපහසුතා පැමිණිලි කිරීම (බඩේ අමාරු හිසරුදාව )

නිවසේ දෙමාපියන් හෝ සමීප අයෙක් වෙන් වීමේදී, හෝ අනතුරකට ලක් වන අවස්ථාවක දී දැඩි චිත්තවේගාත්මක වේදනාවක් අත්විඳියි. එනම් සාමාන්‍ය ස්වභාවයෙන් ඔබ්බට ගොස් කාංසාව ස්වභාවය දිගු කාලයක් පවතියි. මොවුන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ වෙන්වීමට සිදුවෙතැයි කල්පනා කරන සෑම අවස්ථාවක් ම මඟහැරීමට කටයුතු කිරීමයි. නිදසුනක් හැටියට පාසල් යාම ප්‍රතික්ෂේප කල හැකිය. එහෙයින් එදිනෙදා අධ්‍යාපන කටයුතු ඇතුලු ජීවන තත්ත්වයන්ට බාධාවක් සිදුවන මෙවැනි තත්ත්වන් වෙන්වීමේ කාංසා ප්‍රභේදයට අයත්වෙයි. සුරතල් සතෙකු අලලා වුව මේ තත්ත්වය ඇතිවයි හැකිය. හදිසි වියොවක් දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙයි.

වෙන්වීමේ කාංසා ආබාධය පවතින බවට නිර්දේශ කරන්නේ කෙසේ ද?

ඉහතින් සඳහන් කළ ලක්ෂණවලින් අවම වශයෙන් 04ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මාස 06ක් හෝ ඊට වැඩිකාලයක් පවතින්නේ නම් එය වෙන්වීමේ කාංසා ආබාධය බවට නිර්දේශ කළ හැකිය. නමුත් අවුරුදු 03 සිට 06 දක්වා ළමුන් තුළ වෙන්වීමේ කාංසා ආබාධය චිත්තවේගය සංවර්ධනයේ කොටසක් ලෙස ම පවතියි.එය ස්වභාවික තත්ත්වයකි.

වෙන්වීමේ කාංසා  අබාධය සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍ය ද ? 

පැහැදිලිවම ඔව්. කුඩා වියේ පවතින මෙම අක්‍රමතාවයට නිසියාකාරව ප්‍රතිකාර ලබාගත්තේ නැතිනම් වැඩිහිටි වියට පසුවන විට එය සුවිශේෂී භීතිකාව, සමාජ භීතීකාව, ⁣සන්ත්‍රාස අක්‍රමතාය හා පෞරුෂ ආබාධයන්ට හා වෙනත් කාංසාමය තත්ත්වයන්ට ගෙැදුරු වෙයි. එම නිසාම කුඩා අවධියේ දී ම දරුවා මනෝ ප්‍රතිකාර වෙත යොමුකළ යුතුමය. මනෝ වෛද්‍ය නිර්දේශය අනුව මේ සදහා ජානමය පදනමක් ද පවති. ඉන් සීමා නොවී දරුවන් හැදී වැඩෙන පරිසරය හේතුකාරක වෙයි. දෙමාපිය වෙන්වීම්, දික්කසාදය, පවුල් ආරවුල්, ශෝක ජනක සිදුවීම් වැනි සමාජමය සාධක හේතුවෙයි. කාංසාමය තත්ත්වය සම්පූර්ණයෙන් සුවවන තෙක් මනෝ ප්‍රතිකාර ⁣සමඟින් රැඳී සිටිය යුතුය.

ප්‍රතිකාරාත්මක ක්‍ර⁣මවේදය යටතේ කථන ප්‍රතිකාර (Talk Therpy) ප්‍රජානන චර්යා විකිත්සාව (CBT) කණ්ඩායම් ප්‍රතිකාර (Group Therpy) වැනි ඵලදායී ප්‍රතිකාර ක්‍රම මෙහිදී භාවිතා කරයි.ඊට අමතරව කුඩා දැරුවනගේ වයසට අවස්ථානුචිත ලෙස චිත්තවේගික සංවර්ධනය සහ වයසට ගැලපෙන ස්වාධීනත්වය වෙත පෙළඹවීමට අවශ්‍ය මනෝ උපදේශනය  උපදේශකවරයා ලබාදෙයි. බොහෝවිට වැඩිහිටියන්ට මෙම අක්‍රමතාවය පවතින විට අනෙකුත් කාංසාමය තතත්වයන් සමඟ බැඳී පවතින හෙයින් ඒ සඳහා ගැලපෙන ප්‍රතිකාරාත්මක සැලස්මක් භාවිතා කරයි

https://psychologytipsforyou.blogspot.com/2020/11/socialanxiety.htmlසුළු මානසික ආබාධ 01 ලිපිය


https://psychologytipsforyou.blogspot.com/2020/11/separation-anxiety-disorder.html



Comments